Wednesday, June 12, 2024

Hope (소원)

 Hope (소원)



       2013 වසරේ තිරගත වූ Hope(소원) දකුණු කොරියානු චිත්‍රපටය ලොව පුරා ප්‍රේක්ෂකයින් සංවේදී කළ චිත්‍රපටකි. ඉම් සෝ වොන් එසේත් නැතිනම් හෝප් අට හැවිරිදි පාසල් සිසුවියකි. මධ්‍යම පාන්තික  ඇගේ මව සහ පියා ආර්ථික දුෂ්කරතා හමුවේ මුදල් සෙවීම වෙනුවෙන් මුළු දවසම වැය කරනු ලැබේ. ඔවුන්ට ඇය වෙනුවෙන් ගත කිරීමට ඇති කාලය ඉතා අඩුයි. ඇය තනිව පාසල් යන එක්තරා වැසිබර දවසක ස්ත්‍රී දුෂකයෙකුට හසුවෙයි. දැඩි ලිංගික අපයෝජනයට ලක්වන ඇය විසින් හදිසි ඇමතුම් අංකයක් වෙත කතාකර උපකාර ලබා ගනී. තම දෙමාපියන්ගේ අවිවේකී ජීවන රටාව නිසා මෙබඳු බරපතල අවස්ථාවකදී පවා ඇය දෙමාපියන්ගේ සහාය ඉල්ලා නොසිටීම හරහා දෙමාපියන් ඇයගෙන් ඈත් වී ඇති තරම කෙතරම් ද යන්න ඉදිරිපත් කරයි. පසුව ඇය රෝහල්ගත කර සැත්කමක් සඳහා යොමු කරයි. කායික වශයෙන් මානසික වශයෙනුත් දැඩි අස්ථාවර තත්ත්වයකට පත්ව සිටින ඇය තම පියා පවා ප්‍රතික්ෂේප කරන තත්ත්වයට පත් වේ. යම් සිදුවීමක් දරුවෙකුට මානසික වශයෙන් කෙතරම් බලපානවද යන්න මේ හරහා අනාවරණය වේ.


         පියා විසින් ඇයට සමීප වීම සඳහා ඇය කැමතිම කාටූන් චරිතයකින් සැරසී ඇය ඉදිරියට පැමිණෙයි. කාටූන් චරිතය සමඟ සතුටින් සිටින ඇය නැවත පියා පැමිණි පසු ඔහුව ප්‍රතික්ෂේප කරයි. එනිසා පියා දිගටම කාටූන් චරිතයෙන් සැරසී ඇය ඉදිරියට පැමිණීමට තීරණය කරයි. එලෙසම ඇගේ කුඩා  මිතුරන්ද ඇයව පාසලට යන එන විට ආරක්ෂාව සපයමින් ඇය සමඟම ගැවසීමට උත්සාහ දරයි. කෙමෙන් කෙමෙන් කායික හා මානසික වශයෙන් සුවපත් වීමට ඇයට උත්සහ දරයි. ඒ සඳහා ඇගේ මව පියා පාසල් මිතුරන් අසල්වැසියන් ඇයට සහයෝගය දක්වයි. 

              ඇයගේ දූෂකයාව ඇය විසින් හඳුනාගැනීමත් සමඟ ඔහුව අධිකරණයට ඉදිරිපත් කරයි. එහිදී ඔහුට හිමිවන්නේ වසර දොළහක සිර දඬුවමකි. මෙය බොහෝ දෙනාගේ කෝපය අවුළුවන සිදුවීමක් විය. කුඩා හෝප් කෙමෙන් කෙමෙන් යථා තත්ත්වයට පත් වන්නේ ඇයගේ අවට සිටින අයගේ උපකාර ද ඇතුවයි. චිත්‍රපටයේ අවසානය වන විට හෝප්ට කුඩා සහෝදරයෙකු ලැබී ඇත. ඇය ඔහු සමඟ සතුටින් කාලය ගත කරයි. නමුත් ඇයගේ ජීවිතයට කායික මානසික වශයෙන් ඇතිවූ කැළල කිසිම දිනෙක සුව නොවනු ඇත. ඇයට ඒ සමග තම ඉතුරු ජීවිත කාලයම ගෙවීමට සිදුවනු ඇත. ඇයට සැබැවින් මෙන් නීතියෙන්වත් සාධාරණයක් ඉටු වූවාදැයි යන ගැටලුව තවමත් ඉතිරිවී ඇත.

             මෙම චිත්‍රපටය දකුණු කොරියාවේ සිදුවූ සත්‍ය සිදුවීමක් පාදක කරගත් චිත්‍රපටයකි. මෙහි සත්‍ය සිදුවීමේදීද වරදකරුවා හට වසර දොළහක සිර දඬුවම් ලබාදීම එරට තුළ දැඩිය ආන්දෝලනයකට තුඩු දුන් සිදුවීමක් විය. දරුවන් කෙරෙහි දෙමාපියන්ගේ සැලකිල්ල කෙතරම් නම් වැදගත් ද යන පණිවිඩය මෙම චිත්‍රපටය හරහා ප්‍රබල ලෙස ලබා දී ඇත. එලෙසම නීතිය ආධිපත්‍යය පිළිබඳ නැවත නැවතත් ප්‍රශ්න කර ඇත. හෝප් දෙවරක් නැරඹීමට හිත හදා ගත නොහැකි එහෙත් සංවේදී උසස් ගණයේ නිර්මාණයකි.

-සචිනි ඉමල්ෂා-

Hope (소원)

 Hope (소원)        2013 වසරේ තිරගත වූ Hope(소원) දකුණු කොරියානු චිත්‍රපටය ලොව පුරා ප්‍රේක්ෂකයින් සංවේදී කළ චිත්‍රපටකි. ඉම් සෝ වොන් එසේත් නැතිනම...